Sunday, October 11, 2015

හීතලේ_පෙම් කරන​

                කාෂ්ඨ අවුවේ සැර නම් දෑස් පියවෙන තරම්_ ඒත් හදවත අස්සෙ ගල් වෙච්ච සිතිවිල්ලක් වත් උණු කර ගන්න බෑ.. අඩු තරමෙ එහෙම උණු වෙච්ච සිතිවිල්ලකට කඳුලක් වෙලා වත් ඇස් වල තැවරෙන්න තිබ්බා., හීතලට​.
සිතිවිලි ගල් වෙලාද​, හදවත ගල් වෙලාද මන් දන් නෑ., ඔය දෙකෙන් කෝක උනත් උණු වෙන්න නම්, ජීවිතේ හීතල කාළෙ එන්නම ඕන කියල තමයි මට හිතෙන්නෙ_ විද්‍යාවෙ කොහොම වෙතත්..
හීතලක අත්ල පටල ගත්තත් ඇති, කෙල්ලො කොල්ලොන්ගෙ ඇස් නිකන් වික්ටෝරියාවෙ වාං ඇරිය වගේ වෙන්න​_ ඉතිං, පෙම් කරන්න නුවරඑළියෙ සවාරි යන එක අහන්නත් දෙයක් ද​..
ප්‍රේමය චිත්‍රයක් නම්, ඒ පසුතලය වෙන්නෙ හීතලද මන්දා.. ආදරයෙ සංඛේතයක් වෙන්න උනත් රතු රෝස මලකට නිකන්ම බෑ., අඩුම පිනි බිංදු දෙක තුනක් වත් ඉහිල තියෙන්න ඕන.. කොටින්ම ඇස් වලට හීතල ගතිය දැනෙන්න ඕන.​. හදවත හීතලෙන් මිරිකිලා., ගතේ හිරි ගඩු පිපෙන තරමට හිතිවිලි මැවෙන්න ඕන​.. ලය පුරා වැළඳ ආදරයේ උණුහුම විඳින්න පුලුවන්ද, කාෂ්ඨ කර්කෂ ලෝකයක​...
හීතල වටපිටාව​, ආදරයට උත්පේරකයක්.. ආදරේ පත්තු කරන හීතලට ළං වෙන්න​ මධුසමය උනත් නුවරඑළියට, ස්විස්ට(ර්)ලන්තයට​, නවසීලන්තයට බර වෙන්න බලනව. කාසිය භාගෙ හොරයි නම්, අඩු තරමෙ කන්දක් උඩක වත් හීතලක් හොයා ගන්න බැරි වෙන්නෙ නෑ..
ඉස්සර අනුරාධපුරේ පැත්තත් නුවරඑළිය වගේද කියල හිතෙන්නෙ, ඉසුරුමුණියෙ පෙම් යුවල දැක්කාම​. ඒ සා බේරෙන ආදරයක් දරන්න තරම් තිසා වැවු ඉස්මත්ත සංවේදී මදිද මන්දා..
එදා ඉසුරුමුණියෙ ගල් වෙච්චි හදවත් වල දැවටිච්ච සුසුම් වැදිල​, මහා කලු ගල් උණු වෙන්න ඇති.. ගල් මත්තෙ රතු රෝස නොපිපුණාට කලු ගල් රෝස මල් වගේ සියුම් වෙන්න ඇති.. නැත්නම් ඔතන ඉන්න පුලුවන් යුවලකට විතරයි. පෙම් කරන්න තරම් හීතලක් නෑ එතන​...
__________________________________________________________________~මොසෝ

උමතු ස්පන්දනය​

                           තර්ක කරන්නට තරම් අර්ථයක් ඇතිවක් මෙතෙක් මා ආ ගමන් මග තුළ නොමැති බව පමණක් මට වැටහේ. අනන්තයට ශුන්‍යය වී සීමාව දුන් අතීතය ඔස්සේ තවත් යාමට තරම් ඉදිරියක්ද මට නොමැත​. මෙය අවසානයමදැයි නිශ්චිතව කිවිය නොහැක්කේ මුත්, ඒ වැඩි ඈතක නොවන බව නම් පැහැදිලිවම දකිමි.
උමතු වන්නෙකු තමන්ගේ උමතු බව පිළිනොගන්නා බවක් මා අසා ඇත්තෙමි. සමාජයේ අතිමහත් දනාද තමන් උමතු නොම වන්නෝ'යි විශ්වස් කරති. නමුදු මා, මාගේ උමතු බව පිළිගනිමි. ඒ වූයේ කුමක් අරභයා, කිනම් දිනක පටන්දැයි මට සිතිය නොහැක්කේ  මේ මොහොතෙහි මා කෙරෙහි වන උමතු බව නිසාම පමණක් නොව​, එය ඒ තරමින්ම සංකීර්ණ උගතෝකෝටිකයක්ද  වන බවිනි. ඇතැම් විට මා නිවැරදි සිහියකින් යුක්තව​, ඒ අතීතය නිරවුල් මනසකින්  විමසූවේ වුව ද​, අවසානයටද​ පෙර මා උමතු වනු ඇත්තේය​. එය ඒ තරමින්ම උග්‍ර විෂඝෝර සර්පයන් පිරි වංකගිරකි.
ලෝකයා අභිමුව මා එදා කවියෙකු වුණෙමි. පද අතර අකුරු අමුණා කවි අතර අතරමං වී ගිය පසුද තවමත් මා ඒ භූමිකාවටම පණ පොවමින් සිටිමි. නමුදු ඒ නිකන්ම නිකන් සාමාන්‍යය කවියකු ලෙසින් නොව 'උමතු' නම් සුවිශේෂී විරුදාවලියක් ද ලත් කවියකු ලෙසිනි. කෙසේ හෝ වේවා කොයි තරම් නම් අකුරු කවි කර ඉඳුල් කෙරූවද මා, මාගේ ජීවිතයට අකුරු ගලපන්නට නම් සිතන්නට තරම් වත්, මේ මොහොත දක්වාම පමා වී ඇත්තෙමි. ලියැවී ගියා වූ අකුරු මත ජීවිතය ගලපනා සහසක් දනා අතර එය එසේ නොකර සිටියකු ලෙසින් පමණක් මට යම් ආශ්වාදයක්ද විඳිය නොහැක්කේ නොවේ. පමා වී ගියද කම් නැත., උමතුවෙන් හෝ මා මාගේ ජීවිතයට අකුරු ගලපන්නෙමි. මාගේ හෘද ස්පන්දනයද උමතුවෙන් මෙනි. එහි රිද්මයට අකුරු ගැලපිය හැක්කේද උම්මන්තකයකුට​ පමණක්ම විය යුතුය​.
අතපසු වීමකින් හෝ මාගේ මේ ජීවිතයට අකුරු ගැලපීමේ ව්‍යායාමයෙහි අවසන් ඵලය කිසිවකු හෝ අතට පත් වුවහොත් එහි අරුත් විමසන්නට උත්සාහ නොගන්නා මෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටිමි. මන්ද ඒ ලියැවෙනු ඇත්තේ මා ජීවිතය මතින් බැවින් එහි කිසිදු අරුතක් පැවතිය නොහැක. උමතු වූවකුගේ උමතු ස්පන්දනයට අනුගතව ඉදිරියේදී නිරපරාදේ තීන්ත බිඳු අකුරු අඳිනු ඇත​. ඒ අකුරු මත මාගේ ජීවිතයද ඇඳෙනු ඇත. එබැවින්ම, එය කිසිදු අරුතකින්ද හෙබි නොවනු ඇත​...

බෝ අරුත් ඇති සඳ ඔබ කෙලෙස වටහාන​

පද අරුත් යොදන්නද ලෙස සඳැස් නිසඳැසින​
නොදැරුවත් ධරණි තල කවි හැඟුම් බරක් ලෙස​
බරකි ඔබ මහ මෙරක් තරමින්ම කවි ලොවට

මදහසක් නැති රුවක කඳුලු හැඩ වැඩ වුණා

පන්දමක් ලත් අතට අංධ නෙත් හිනැහුණා
කරවටක් ගිලුණු දියෙ නාස් පුඩු සැණහුණා
ඇරඹුමක් නොලත් මග මැදක හිඳ නැවතුණා​

මුලා වූ නෙත් බැල්ම අසංතෘප්තව හදේ

ඇඳී ගිය සිත අහසෙ විදුලි එළියක හැඟේ
තවරන්න දුහුවිල්ල අමාවක දා හඳේ
කොනිතාමි ලැම යුගල රිදුම් දෙන සේ හදේ

මලක් නැති නටු අගක රොනට ලැදි සමණලුන්

කටුවකින් සමු දුන්න තටුව පොළොවට නැවුම්
දියත් කළ හිම කන්ද දිවට රස නැති බරින්
අරං මා වෙත එන්න පොළිය ණයකට අරං

හයක් හතරක් නැතිව ලකුණකට දුවන උන්

පහක් නැති ලෝකයක අටක් හොයනව රවුම්
අහස් උස විමන් බැඳ බිම් බලා උන් නුවන්
පවක් කර ගත් ලෙසක​ පිං තකයි හරසරිං

කෑවාට පොත කොනක් කාව වී ගණිකාව​

හිඟමනට නුදුන් දා උපන් ගති ළඟ තාම​
ගුරු පඬුරු අත දැරුව සරු නොවූ ඉගැනීම​
හෙට අතීතයට දී අනිද්දට ගතු කීය

හතරමං හංදියක අතරමං තුරුණු මං

හොර පාරෙ හොඳ පාර ගුරු පාර කළ අනිං
ගෑවෙනා මඩ ගාව කලු පාර තාර නම්
ඉර ගාව දිය වෙනව හීතලට තාම මං

ගිනි ගන්න ලැවු ගින්න මට දෙන්න ආයේ
විඳ ගන්න මං ඉන්නෙ රළ ගාව පෙණ සේ
කිර ගන්න හිර ගන්න වෙර ගන්න සරු සේ
පරවෙන්න අරඹන්න පීදෙන්න පෙර සේ
__________________________________________________________~මොසෝ